උපදෙස් සහ මාර්ගෝපදේශ

ගංවතුරට අහුවුන වාහනයක කළයුතු සහ නොකළයුතු දේ

ශ්‍රී ලංකාවට මේ වන විට බලපෑම් කළ දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා වාහන රැසකට හානි වෙලා තියෙනවා. මෙසේ හානි වුණු වාහනයක් නැවත යථා තත්ත්වයට පත් කරගැනීම කියන්නේ හරිම කල්පනාවෙන් සහ පිළිවෙළකට කළ යුතු දෙයක්.

Flooded Vehicle

ගංවතුරෙන් අහුවුණු වාහනයක් නැවත පණ ගන්වන්න අවශ්‍ය වන වැදගත්ම දේවල් සම්පූර්ණ විස්තර සහිතව ikman අපි ඔබට ගෙන එන්න හිතුව. මේ අපි කියන්න යන්නෙ ගංවතුරෙන් හානි වූ වාහනයක් සම්බන්ධයෙන් ඔබ කළයුතු සහ නොකළයුතු දේවල් ගැන. පළමු සහ තීරණාත්මක පියවර වෙන්නෙ එන්ජිම පණ ගැන්වීමෙන් වැළකීමයි. හරි, අපි දැන් මේ ගැන විස්තරාත්මකව කතා කරමු.

ගංවතුරට අහුවුන වාහනයක් පණගැන්වම සුදුසුද?

ගංවතුරෙන් අහුවුණු වාහනයක් ගැන ඇසූ පමණින් “වතුර බැහැලා ඇති, දැන් බලමු පණ ගන්වන්න” කියා සිතීම කිසිසේත් නොකළ යුතු දෙයක්. මේ පිටුපස ඇති විද්‍යාත්මක හා යාන්ත්‍රික හේතු තේරුම් ගැනීම වැදගත්.

Engine Flooding

ජල අගුල (Hydro-lock) ඇතිවීමේ භයානකකම

ගංවතුර හානියට ලක් වූ එන්ජිමක විශාලතම තර්ජනය වන්නේ ජල අගුලයි. මෙහිදී සිදුවන්නේ කුමක්ද කියනවනම් එන්ජිමේ දහන කුටීරවලට (Combustion Chambers) ජලය ඇතුළු වී තිබීමයි. ඔබ වාහනය පණ ගැන්වීමට උත්සාහ කළ විට, පිස්ටනය (Piston) ඉහළට ගමන් කරන්නේ ඉන්ධන සහ වායු මිශ්‍රණය සම්පීඩනය කිරීමටයි. නමුත් ජලය සම්පීඩනය කළ නොහැකියි.

මෙය එන්ජිමට දැඩි හානියක් ඇති කරන අතර, පිස්ටන් රොඩ් (Connecting Rods) වම්වීම හෝ කැඩීම වැනි ගැටළු ඇතිවිය හැකියි. එන්ජිම සම්පූර්ණයෙන්ම මාරු කිරීමට හෝ විශාල මුදලක් වැය කර අලුත්වැඩියා කිරීමට සිදුවේ.

එන්ජිම ක්‍රියාත්මක නොකිරීමෙන් ඔබට මෙම හානිය වළක්වා ගත හැකියි.

විද්‍යුත් පද්ධතිවල කෙටි පරිපථ හා හානි

නවීන වාහන වල වැඩිපුරම තියෙන්නේ විද්‍යුත් පද්ධති. ජලය, විශේෂයෙන්ම අපිරිසිදු ගංවතුර ජලය, විදුලියට සන්නායකයක් (Conductor) ලෙස ක්‍රියා කරනවා. මේ නිසා බැටරිය වහාම විසන්ධි කිරීම අත්‍යවශ්‍යයි.

නැතහොත් විදුලි පරිපථ කෙටි වී, ECU (Engine Control Unit) සහ අනෙකුත් පාලන මොඩියුල (Control Modules) හානි විය හැක. මේ නිසා බැටරියේ ඍණ අග්‍රය (-) විසන්ධි කිරීමෙන් විදුලි බලය කපා හැරීම වැදගත්.

හානි විය හැකි අනෙකුත් කොටස්

  • ආරම්භක මෝටරය (Starter Motor): වතුරට යට වූ ආරම්භක මෝටරය ක්‍රියාත්මක කිරීමෙන් එහි අභ්‍යන්තර කොටස් විනාශ විය හැක.
  • ඉන්ධන පද්ධතිය (Fuel System): ඉන්ධන ටැංකියට ජලය ඇතුළුවී ඇත්නම්, එන්ජිමට ජලය ගමන් කර ජල අගුල තත්ත්වය තවත් දරුණු කරයි.

එසේනම්, ඔබ ක්ෂණිකව ගත යුතු පියවර මොනවාද?

1. බැටරිය විසන්ධි කරන්න
Disconnect Battery

ආරක්ෂිතව පළමුව ඍණ අග්‍රය (-) ඉවත් කරන්න. හැකි නම් බැටරිය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න.

2. ට්‍රේලරයක් (Tow Truck) / කැරියර් (Carrier) යොදාගන්න
Tow Truck Transport

කිසිසේත් වාහනය පදවාගෙන හෝ තල්ලු කරගෙන යාමට උත්සාහ නොකරන්න. ආරක්ෂිතව එසවිය හැකි ට්‍රේලරයක් හෝ කැරියර් රථයක් මඟින් පමණක් සේවා මධ්‍යස්ථානයකට රැගෙන යන්න.

3. රක්ෂණයට දැනුම් දෙන්න
Insurance Notification

වහාම රක්ෂණ සමාගමට දැනුම් දී ඔවුන්ගේ උපදෙස් ලබාගන්න. හානිය තක්සේරු කිරීමට පෙර කිසිදු කොටසක් වෙනස් නොකරන්න.

එන්ජිම පණ ගැන්වීමට උත්සාහ කිරීම යනු කුඩා හානියක් විශාල ව්‍යසනයක් බවට පත් කර ගැනීමක්. ඔබ එසේ නොකළහොත්, වාහනයේ අලුත්වැඩියා වියදම විශාල ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව ලැබේ.

අපි මෙහි දෙවන කොටසින් වාහනයේ අභ්‍යන්තරය සහ බාහිර කොටස් පිරිසිදු කිරීම සහ වියළීම පිළිබඳව කතා කරමු.

Facebook Comments
Receive Updates

No spam guarantee.

Related Articles

Back to top button
Close
Close